Sunday 31st of May 2026

English Tamil
Advertiesment


පල්ලේගම හේමරතනගේ සංඝ නායක පදවියට තට්ටු වේ 


2026-05-31 1255

 

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමි පත් කෙරේ 

 

නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද පල්ලේගම හේමරත්න පහ කෙරේ 

 

පල්ලේගම හේමරතන දරන මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ.
 
පල්ලේගම හේමරතනට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී, ඒ පිළිබඳ අවසන් තීරණයක් අධිකරණයෙන් ලැබෙන තුරු මෙම ධුරය අත්හිටුවීමට පියවර ගත් බව මල්වතු මහා විහාරය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ සුමංගල නා හිමියන්ගේ අත්සනින් යුතුව සෙනසුරාදා (30) නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, පල්ලේගම හේමරතනට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින් කාරක මහා සංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් කැඳවා කරුණු විභාග කළ අතර මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2026.05.30 දින රැස් වූ සභාවේදී මෙම තීරණය ගත් බවය.


මේ අතර පවතින තත්ත්වය හමුවේ අනුරාධපුර ඓතිහාසික අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී සහ  උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමි පත් ඇත.

ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි සහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි අටමස්ථාන කමිටුව විසින් මෙම තාවකාලික පත්කිරීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව අධිකරණ ක්‍රියාවලිය නිමාවන තෙක් අනුරාධපුර අටමස්ථානයේ පරිපාලන සහ ආගමික වතාවත් මෙහෙයවීම නව තාවකාලික අටමස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවනු ඇත.

 

 

Advertiesment